එසකියෙල් 3 - Sinhala Revised Old Version1 එහි ලියා තිබුණේ විලාපත් වැලපීමත් ළතෝනියත්ය. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹට සම්බවෙන එක කන්න; මේ පොත කාලා, ගොස්, ඉශ්‍රායෙල් වංශයට කථාකරන්නැයි මට කීසේක. 2 එවිට මම මාගේ කට ඇරියෙමි, උන්වහන්සේද ඒ පොත කන්ට මට සැලැස්සූසේක. 3 තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය, 4 උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්‍රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න. 5 මක්නිසාද නුඹ යවන්නේ අන් භාෂාවක්ද අමාරු වචනද ඇති සෙනඟක් ළඟට නොව ඉශ්‍රායෙල් වංශය ළඟටය; 6 නුඹට තේරුම්ගන්ට බැරි වචන ඇති, අන් භාෂාවක්ද අමාරු වචනද ඇති බොහෝ ජනයන් ළඟට නොවේ. සැබවින් ඔවුන් ළඟට මම නුඹ යැවුවොත් ඔවුන් නුඹට ඇහුම්කන්දෙනවා ඇත. 7 නුමුත් ඉශ්‍රායෙල් වංශය මට ඇහුම් කන්දෙන්ට කැමති නැති බැවින් ඔව්හු නුඹට ඇහුම්කන්දෙන්ට කැමැති නොවෙති. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් වංශය දැඩිවූ නළල්ද තද සිත්ද ඇත්තෝය. 8 බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි. 9 නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක. 10 තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලුම වචන නුඹේ සිතේ තබාගන්න, නුඹේ කන්වලින් අසන්න. 11 වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක. පිටවහල්කර සිටි යුදෙව්වන්ට එසකියෙල් මුරකාරයෙකු කොට පත්කිරීම 12 එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය. 13 එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය. 14 මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය. 15 එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි. 16 තවද සත් දවසකට පසු ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය: 17 මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න. 18 නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. 19 නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය. 20 තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේද නුඹ අතින් අයකරන්නෙමි. 21 නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; නුඹද නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය. එසකියෙල් තමාගේ ගෙදර නවතින ලෙස අණ ලැබීම 22 එවිට ස්වාමීන්වහන්සේගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී නුඹ සමඟ කථාකරන්නෙමියි මට කීසේක. 23 එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි. 24 නුමුත් ආත්මය මට ඇතුල්ව, මා නැගුටුවා සිටුවා, මා සමඟ කථාකොට: නුඹේ ගෙට වැද දොර වසාගන හිඳින්න. 25 තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹ පිට බැඳුම් දමා, නුඹ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් නුඹ බඳිනවා ඇත. 26 මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය. 27 එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society