එපීස 2 - Sinhala Revised Old Versionඅන්‍යජාතීන් කෙරෙහි ප්රකාශවූ දේව කරුණාව 1 නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක. 2 පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. 3 ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව. 4 නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, 5 අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා, 6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක. 7 එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය. 8 මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. 9 කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. 10 මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක. අන්‍යජාතීන් හා යුදෙව්වන් සභාවෙහි එක්ව සිටින බව 11 එහෙයින් පෙර කාලයේදීම මාංසයෙන් අන්‍යජාතිකයන්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරනලද චර්මඡේද්‍යය ඇත්තන් විසින් අචර්මජේදිතයෝයයි කියනලද්දාවූ නුඹලා, 12 ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න. 13 නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය. 14 මක්නිසාද වෙන්කිරීමේ මැද බික්තිය බිඳදමා, ඒ සතුරුකම නැමති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට, 15 දෙගොල්ල එක්කළ උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක; එසේ කළේ සමාදානකරමින් තමන් තුළ දෙගොල්ල එක අලුත් මනුෂ්‍යයෙක් කොට මවන පිණිසත්, 16 කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමගිකරදෙන පිණිසත්ය. 17 උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක. 18 මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. 19 ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. 20 නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. 21 උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. 22 උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය. |
Ceylon Bible Society
Ceylon Bible Society