උත්පත්ති 26 - Sinhala Revised Old Versionඊසාක් අබිමෙලෙක් වෙත ගෙරාර්හි විසීම 1 ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය. 2 ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරන්න, මේ දේශයෙහි විදේශීව සිටින්න, 3 මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි; 4 ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින් 5 නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක. 6 ඊසාක් ගෙරාර්හි වාසයකෙළේය. 7 ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය. 8 ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය. 9 අබිමෙලෙක් ඊසාක් කැඳවා: සැබවින්ම ඈ නුඹේ භාර්යාවය. ඈ මාගේ සහෝදරීයයි නුඹ කීවේ කෙසේදැයි කීය. ඈ නිසා මා නොනසින පිණිස කීයෙමියි ඊසාක් ඔහුට කීවේය. 10 අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය. 11 අබිමෙලෙක් තමාගේ මුළු සෙනඟට අණකරමින්: මේ මනුෂ්‍යයාටවත් ඔහුගේ භාර්යාවටවත් අතගසන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේයයි කීයේය. 12 ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක. 13 ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය. 14 ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය. 15 ඔහුගේ පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හෑරූ සියලු ළින් පිලිස්තිවරුන් විසින් පස් පුරවා වසාදමා තිබුණේය. 16 නුඹ අපට වඩා බොහෝ බලවත් හෙයින් අප කෙරෙන් යන්නැයි අබිමෙලෙක් ඊසාක්ට කීය. 17 ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසයකෙළේය. 18 තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය. 19 ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය. 20 එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය. 21 එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නායයි නම තැබීය. 22 ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය. 23 ඔහු එයින් බෙයර්-ෂෙබාට ගියේය. 24 එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක. 25 ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය, ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය. 26 එවිට අබිමෙලෙක්ද ඔහුගේ මිත්‍රයාවූ අහුස්සත්ද ඔහුගේ සේනාපතිවූ පීකොල්ද ගෙරාර්හි සිට ඔහු වෙතට ගියෝය. 27 ඊසාක්: නුඹලා මට වෛරකොට නුඹලා වෙතින් මා යවාලාත් කුමක්හෙයින් මා වෙතට ආවහුදැයි කීය. 28 ඔව්හුද: ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින බව අපි පැහැදිලි ලෙස දුටිමු. එබැවින් අප අතරෙහි එනම් අප සහ නුඹ අතරෙහි දිවුරුමක් වේවා; 29 අප නුඹට අත නොගැසුවාක් මෙන්ද, නුඹට යහපතමකර සමාදානයෙන් නුඹ යැවුවාක් මෙන්ද, නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; නුඹ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්තේයයි කීවෝය. 30 ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය. 31 අති උදය නැගිට ඔව්හු එකිනෙකා සමඟ දිවුරාගත්තෝය. ඊසාක් ඔවුන් පිටත්කෙළේය, ඔව්හු සමාදානයෙන් ඔහු වෙතින් ගියෝය. 32 තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය. 33 ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය. 34 ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය. 35 ඔව්හු ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ. |
Ceylon Bible Society
Ceylon Bible Society