Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

උත්පත්ති 17 - Sinhala Revised Old Version


ගිවිසුම අලුත් කිරීම. චර්මඡේද්‍යය පිහිටුවීම

1 ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.

2 මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.

3 එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්:

4 බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.

5 නුඹේ නාමය තවත් ආබ්‍රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.

6 මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද නුඹෙන් නික්මෙන්නෝය.

7 නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.

8 නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.

9 තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹද නුඹෙන් පසුව සිටින නුඹේ වංශයද තමන්ගේ පරම්පරාවන්හි මාගේ ගිවිසුම රක්ෂාකළ යුතුය;

10 මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.

11 නුඹලා නුඹලාගේ චර්මාග්‍ර මාංසයෙහි ඡේද්‍යකරනු ලබන්නහුය; ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය.

12 නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයෙහි නොවන්නාවූ විදේශියෙකුගෙන් මිලේට ගන්නාලද තැනැත්තා හෝ අට දවසක් වයස්වූ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබන්නෝය.

13 නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මඡේද්‍යයකරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංසයෙහි පවත්නේය.

14 තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.


ඊසාක් ගැන පොරොන්දුව

15 තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය.

16 මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක.

17 එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.

18 ආබ්‍රහම්: අහෝ; ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය.

19 දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්‍රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.

20 මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.

21 එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.

22 එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.

23 එවිට ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කෙළේය.

24 ආබ්‍රහම් චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය.

25 ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය.

26 එම දවසෙහිම ආබ්‍රහම්ද ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.

27 ගෙයි උපන්නෝද විදේශීන්ගෙන් මිලේට ගනු ලැබුවෝද යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්