Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

උත්පත්ති 12 - Sinhala Revised Old Version


ආබ්‍රහම් කානාන් දේශයට යාම

1 ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.

2 මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.

3 තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

4 මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.

5 ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.

6 ආබ්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය.

7 ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

8 ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.

9 ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.


ආබ්‍රහම් මිසර දේශයෙහි වාසය කිරීම

10 දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය.

11 තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාවවූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත්‍රියක් බව දනිමි.

12 මිසරවරුන් නුඹ දුටු විට–මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත.

13 ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.

14 තවද ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය.

15 ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය.

16 ඔහු ඈ නිසා ආබ්‍රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණාහ.

17 ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළසේක.

18 එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: නුඹ මට මේ කළේ මොකද? ඈ නුඹේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?

19 ඈ නුඹේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යාව කොට ගතිමි. මෙන්න නුඹේ භාර්යාව, ඇය රැගෙන යන්නැයි ඔහුට කීය.

20 ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්