Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ආමොස් 4 - Sinhala Revised Old Version


ධනවත් ක්‍රෑර ස්ත්‍රීන්ට පැමිණෙන අච්චුව

1 සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.

2 ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය.

3 නුඹලා කපොලුවලින් එක එකා තම තමා ඉදිරිපිටින් පිටත්ව යන්නහුය; නුඹලා හාර්මොන්ට විසිකරනු ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් ගැන දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම නිෂ්ඵලවූ බව

4 බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න;

5 මුහුන් මිශ්‍රවූ ස්තුති පූජාවකුත් ඔප්පුකර, ස්වෙච්ඡා පූජා ගැනත් මොරගසා ප්‍රකාශකරන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා ඊට ප්‍රියයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක:

6 තවද මා විසින් නුඹලාගේ සියලු නුවරවල දත් ශුද්ධකමද නුඹලාගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, නුඹලා මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:

7 තවද කපන කාලයට තුන් මසක් තිබෙද්දී මම වැස්ස නුඹලාගෙන් වලක්වාගතිමි. එක නුවරකට වහින්ට සලස්වද්දී තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක බිම් කොටසකට වැස්සේය, වැස්ස නොලැබූ කොටස වියළී ගියේය.

8 ඒ නිසා නුවරවල් දෙකක් තුනක් වතුර බීමට වෙන නුවරකට ගමන්කළෝය, නුමුත් සෑහීමට නොපැමුණුණෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

9 මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

10 මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

11 දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් නුඹලා අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, නුඹලා ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයිස්වාමීන්වහන්සේ කියනසේක.

12 එබැවින්, ඉශ්‍රායෙල් මෙසේ නුඹට කරන්නෙමි. මා නුඹට මෙසේ කරන්ට යන බැවින්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ දෙවියන්වහන්සේ සම්මුඛවෙන්ට සූදානම්වෙන්න.

13 මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්