ආමොස් 1 - Sinhala Revised Old Versionඅවට ජාතීන් හා යූදා කෙරෙහි විනිශ්චය ප්‍රකාශකිරීම 1 තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය. 2 ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය. 3 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය. 4 ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි. 5 මම දමස්කයේ අගුල බිඳ, වැසියා ආවෙන්හි මිටියාවතෙන්ද, ජයකොන්තය අල්ලන්නා ඒදන් වංශයෙන්ද සිඳදමන්නෙමි. අරාම්හි වැසියෝ වහල්කමට කීර්ට යන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 6 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය. 7 ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි. 8 මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 9 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය. 10 ඒ නිසා මම තීර්හි මාළිගා විනාශකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි. 11 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය. 12 ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි. 13 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්‍රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය. 14 ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි. 15 ඔවුන්ගේ රජද ඔහුගේ අධිපතීහුද එක්ව වහල්කමට යන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society