Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

3 යොහන් 1 - Sinhala Revised Old Version


ගායස්ට ප්‍රශංසාකිරීම. ආගන්තුක සත්කාරකිරීමේ යුතුකම. විරුද්ධකාරවූ දියොත්‍රෙපස්. අවසානය

1 වැඩිමහල්ලා වන මා විසින් සත්‍යතාවෙහි ප්‍රේමකරන ප්‍රේමවන්ත ගායස්ට ලියා එවන වග නම්:

2 ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

3 නුඹ සැබෑවෙහි හැසිරෙන ලෙසම නුඹ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප්‍රීතිවුණෙමි.

4 මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.

5 ප්‍රේමවන්තය, නුඹ සහෝදරයන් හා ආගන්තුකයන්ව සිටින්නන්ට කරන යමක් ඇද්ද, නුඹ එයින් විශ්වාස ක්‍රියාවක් කරන්නෙහිය;

6 ඔව්හු නුඹේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂිදුන්නෝය. දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹ ඔවුන්ගේ ගමනට උපකාරකිරීම යහපත්ය.

7 කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය.

8 අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය.

9 මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.

10 ඉන්නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ට වචන දොඩමින් කරන ක්‍රියාවන් සිහිකරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා. සභාවෙන් ඔවුන් පහකරන්නේය.

11 ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.

12 දෙමේත්‍රියස්ට සියල්ලන්ගේද සැබෑකමේද සාක්ෂිය ඇත්තේය. එසේය, අපිත් සාක්ෂිදෙමුව; අපේ සාක්ෂිය සැබෑ බව නුඹ දන්නෙහිය.

13 නුඹට බොහෝ දේ ලියා එවන්ට මට තිබුණේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් නුඹට ලියා එවන්ට නොකැමැත්තෙමි.

14 නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්