Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

2 සාමුවෙල් 14 - Sinhala Revised Old Version


යෝවාබ් කරණකොටගෙන අබ්සලොම් දාවිත් සමඟ සමාදානවීම

1 රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ට දැනුණේය.

2 එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: නුඹ වැලපෙන්නාක්මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,

3 රජු ළඟට ගොස් මේ මේ වචනවල හැටියට ඔහුට කියන්නැයි කියා ඒ වචන ඇගේ කටට දුන්නේය.

4 තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.

5 රජ: නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.

6 ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.

7 ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.

8 රජද: නුඹ ගෙදර යන්න, මම නුඹ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.

9 තෙකෝවාහි ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි ඒ දෝෂය මා පිටත් මාගේ පිය වංශය පිටත් වේවා. රජද රජුගේ සිංහාසනයද නිර්දෝෂවේවයි රජුට කීවාය.

10 රජද: නුඹට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් නුඹට අතනොගසන්නේයයි කීවේය.

11 එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.

12 එවිට ඒ ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට වචනයක් කියන්ට ඔබගේ දාසීට අවසර ලැබේවයි කීවාය. කියන්නැයි ඔහු කීවේය.

13 ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.

14 කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.

15 එබැවින් මා දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට මේ කාරණාව කියන්ට ඇවිත් සිටින්නේ සෙනඟ මා භයගැන්වූ නිසාය. එබැවින්: මම රජ්ජුරුවන්ට කථාකරමි; සමහර විට රජ්ජුරුවන් තමන් දාසියගේ ඉල්ලීම ඉෂ්ටකරනවා වෙන්ට පුළුවන.

16 මක්නිසාද දෙවියන්වහන්සේගේ උරුමයෙන් මාත් මාගේ පුත්‍රයාත් එක වරම නැතිකර දමන්ට හදන මනුෂ්‍යයාගේ අතින් තමන්ගේ දාසිය ගළවන්ට රජ්ජුරුවන් ඇහුම්කන්දෙනවා ඇතැයි මම සිතුවෙමි.

17 එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.

18 එවිට රජ උත්තරදෙමින්: මා නුඹෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.

19 රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත නුඹ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.

20 ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය.

21 එවිට රජ යෝවාබ්ට කථාකොට: මෙන්න, මම ඒ කාරණය ඉෂ්ටකෙළෙමි. නුඹ ගොස් අබ්සලොම් යෞවනයා කැඳවාගෙන එන්නැයි කීවේය.

22 යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.

23 මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය.

24 රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.

25 අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.

26 ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.

27 අබ්සලොම්ට පුත්‍රයන් තුන්දෙනෙක්ද එක දුවක්ද උපන්නෝය, ඇගේ නම තාමර්ය. ඈ ශෝභන පෙනීමක් ඇති ස්ත්‍රියෙක් වූවාය.

28 අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.

29 එවිට අබ්සලොම් යෝවාබ් රජු ළඟට යවන පිණිස ඔහුට හඬගසා, ඇරියේය; නුමුත් ඔහු එන්ට කැමති නොවීය. ඔහු නැවත දෙවෙනි වර ඇරියේය, එහෙත් ඔහු එන්ට කැමතිවුණේ නැත.

30 එබැවින් ඔහු තමාගේ වැඩකාරයන්ට කථාකොට: බලන්න, යෝවාබ්ගේ කෙත මගේ කෙත ළඟය, එහි ඔහුට යව ගොයම් තිබේ; නුඹලා ගොස් එය ගිනිලන්නැයි කීවේය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තිබුවෝය.

31 එවිට යෝවාබ් නැගිට අබ්සලොම් ළඟට ඔහුගේ ගෙදරට ඇවිත්: නුඹේ වැඩකාරයන් මාගේ කෙතට ගිනිතැබුවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.

32 අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.

33 යෝවාබ් රජු ළඟට ඇවිත් එපවත් ඔහුට දැන්නුවේය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට ඇවිත් රජු ඉදිරියෙහි මුහුණින් බිමට නැමී වැන්දේය. රජද අබ්සලොම් සිඹගත්තේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්