2 රාජාවලිය 22 - Sinhala Revised Old Versionයොෂියාගේ කාලයේදී ව්‍යවස්ථා පොත සම්බවීම 1 යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය. 2 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කොට, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි හැසුරුණේය. 3 යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකම ස්වාමීන්වහන්සේගේ ගෘහයට යවමින් කථාකොට: 4 නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න. 5 ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට, 6 එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය. 7 එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය. 8 නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය. 9 ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය. 10 තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය. 11 රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන, 12 පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට: 13 නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය. හුල්දා නම් අනාගතවක්ත්‍රිය ගෙන් විමසීම 14 එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය. 15 ඈ ඔවුන්ට කියන්නී: ඉශ්රායෙල්හි දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: 16 මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යූදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි. 17 ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත. 18 නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ යූදාහි රජුට මෙසේ කියන්න: නුඹ ඇසූ වචන ගැන වනාහි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක– 19 පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදුවී, නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී, නුඹේ ඇඳුම් ඉරාගන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන්දුන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය. |
Ceylon Bible Society
Ceylon Bible Society