2 තෙසලෝනික 3 - Sinhala Revised Old Versionයාච්ඤා කරන මෙන් ඉල්ලීමක්. අනියම්ලෙස හැසිරීම ගැන 1 ඉතින්, සහෝදරයෙනි, නුඹලා අතරෙහි සිද්ධවුණාක්මෙන් [වෙන තැන්වලත්] ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද, 2 හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත. 3 නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක. 4 තවද අප ආඥාකරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව. 5 ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා. 6 තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණකරමුව. 7 මක්නිසාද අප අනුවයන්නෝ වෙන්ට ඕනෑ කෙසේද කියා නුඹලාම දනිවුය. මක්නිසාද අපි නුඹලා අතරෙහි අනියම් ලෙස නොහැසිර, 8 කාගෙන්වත් කෑම නිකමට නොකා, නුඹලාගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩකළෙමුව. 9 එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම නුඹලාට ආදර්ශයක් වන පිණිසත් නුඹලා අප අනුවයන්නන් වන පිණිසත්ය. 10 මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව. 11 නුඹලා අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්, අනියම්ලෙස හැසිරෙන බව අපි ඇසීමුව. 12 ඉඳින් නිශ්චලකමින් වැඩකරමින්, තමුන්ම ලබාගත් කෑම කන හැටියට අපි එබඳු අයට ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ආඥාකොට අවවාදකරමුව. 13 නුමුත්, සහෝදරයෙනි, නුඹලා යහපත කිරීමට මැළි නොවෙන්න. 14 යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න. 15 නුමුත් ඔහු සතුරෙකු මෙන් ගණන්නොගෙන, සහෝදරයෙකුට මෙන් දැනමුතුකම් දෙන්න. අවසානය 16 සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා. 17 පාවුල් යන මාගේම අතින් ලියන ආචාරකිරීමය, ඒ වනාහි සියලු ලියුම්වලට ලකුණය; එසේ ලියමි. 18 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සියල්ලන් සමඟ වේවා. |
Ceylon Bible Society
Ceylon Bible Society