Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

2 ලේකම් 27 - Sinhala Revised Old Version


යෝතාම් රජ

1 යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.

2 තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.

3 ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැගුවේය.

4 යූදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැගුවේය.

5 ඔහු අම්මොන් පුත්‍රයන්ගේ රජුට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් ජයගත්තේය. අම්මොන් පුත්‍රයෝ ඒ අවුරුද්දේ රිදී තලෙන්ත සියයක්ද තිරිඟු කෝර දසදහසක්ද යව දසදහසක්ද ඔහුට දුන්නේය. දෙවෙනි තුන්වෙනි අවුරුදුවලදීත් අම්මොන් පුත්‍රයෝ එසේම ගෙවුවෝය.

6 මෙසේ යෝතාම් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරි මාර්ගවල හැසුරුණ බැවින් බලවත් විය.

7 යෝතාම්ගේ අනික් ක්‍රියාද සියලු යුද්ධද ඔහුගේ මාර්ගද ඉශ්‍රායෙල් සහ යූදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

8 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.

9 යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත් කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවිය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්