2 ලේකම් 19 - Sinhala Revised Old Versionයේහු විසින් තරවටු කිරීම. යෙහෝෂාපාට්ගේ යහපත් වැඩ 1 යූදාහි රජවූ යෙහෝෂාපාට් යෙරුසලමේ තමාගේ ගෙට සමාදානයෙන් හැරීගියේය. 2 නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ. 3 එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය. 4 යොහෝෂාපාට් යෙරුසලමෙහි වාසය කෙළේය. ඔහු නැවත බෙයෙර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් හරවාගත්තේය. 5 ඔහු යූදා දේශයේ සියලු බලකොටු නුවරවල නුවරක් නුවරක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කථාකොට: 6 නුඹලා කරන්නේ මොකද කියා බලාගන්න. මක්නිසාද නුඹලා විනිශ්චයකරන්නේ මනුෂ්‍යයා උදෙසා නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; විනිශ්චයේදී උන්වහන්සේ නුඹලා සමඟ වනසේක. 7 එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය. 8 තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය. 9 ඔහු ඔවුන්ට අණකොට: ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව විශ්වාසකමින්ද සම්පූර්ණ සිතින්ද මෙසේ කරන්න. 10 තමුන්ගේ නුවරවල වාසය කරන නුඹලාගේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැනවත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයයන් ගැනවත් නුඹලා වෙතට පැමිණෙන සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත්, නුඹලා සහ නුඹලාගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැමිණෙන පිණිසත්, ඔවුන්ට අවවාදකරන්න. නුඹලා වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න. 11 මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය. |
Ceylon Bible Society
Ceylon Bible Society