2 ලේකම් 1 - Sinhala Revised Old Versionසාලමොන් රජුගේ තෝරාගැනීම. එතුමාගේ ධන සම්පත්තිය 1 දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක. 2 සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය. 3 ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය. 4 නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය. 5 තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය. 6 එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය. 7 එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක. 8 සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක. 9 දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. 10 එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය. 11 දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා, 12 ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක. 13 එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය. 14 තවද සාලමොන් රථද අසරුවන්ද රැස්කරගත්තේය. ඔහු එක්දාස් හාරසියයක් රථද දොළොස් දහසක් අසරුවන්ද ඇතුව සිටියේය. ඔහු ඒවා රථ-නුවරවලද රජු ළඟ යෙරුසලමෙහිද තැබුවේය. 15 ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය. 16 සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙනලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය. 17 ඔව්හු රථයක් රිදී ෂෙකෙල් හසියය බැගින්ද අශ්වයෙක් එකසිය පනහ බැගින්ද මිසරයෙන් ගෙනාවෝය. එසේම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ගෙනත් දුන්නෝය. |
Ceylon Bible Society
Ceylon Bible Society