Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 සාමුවෙ 8 - Sinhala Revised Old Version


සෙනඟ විසින් රජෙකු ඉල්ලීම. රජුගේ තත්වය

1 සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය.

2 ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය.

3 නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.

4 එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:

5 ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.

6 එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.

7 ස්වාමීන්වහන්සේද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.

8 මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති.

9 දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.

10 එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය.

11 ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.

12 ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.

13 ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය.

14 ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය.

15 නුඹලාගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය.

16 නුඹලාගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද නුඹලාගේ ශෝභනවූ තරුණයන්ද නුඹලාගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය.

17 ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. නුඹලා ඔහුගේ සේවකයෝ වන්නහුය.

18 ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.

19 එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;

20 අපත් සෑම ජාතීන්ට සමාන වන පිණිසද අපේ රජ විසින් අප විනිශ්චයකරන පිණිසද අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑයයි කීවෝය.

21 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.

22 ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ට රජෙකු පත්කරන්නැයි ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කීසේක. සාමුවෙල්ද: නුඹලා එකිනෙකා තමතමාගේ නුවරට යන්නැයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්