1 සාමුවෙ 20 - Sinhala Revised Old Versionයොනාතාන් විසින් දාවිත් ආරක්ෂා කිරීම 1 දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: නුඹේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය. 2 ඔහුද: එසේ නොවේවා; නුඹ නොනස්නෙහිය. බලව, මාගේ පියා මට නොදන්වා ලොකු හෝ සුළු හෝ කිසි දෙයක් නොකරන්නේය. මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්නේ මක්නිසාද? ඒක එසේ නොවේයයි කීවේය. 3 දාවිත්ද තවත් දිවුරමින්: නුඹ මට කරුණාව ඇති බව නුඹේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, නුඹේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය. 4 යොනාතාන්ද: නුඹ කැමති කොයි දෙයක් නුමුත් නුඹ නිසා කරන්නෙමියි කීය. 5 දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න. 6 ඉදින් මා කොතනද කියා නුඹේ පියා ඇසුවොත්: ස්වකීය නුවරවූ බෙත්-ලෙහෙම්හි මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජාවක් ඔප්පුකරන බැවින් එහි ගොහින් එන්ට ඔහු උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේයයි කියන්න. 7 ඉදින් ඔහු: හොඳයයි කීවොත්, නුඹේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න. 8 එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය. 9 යොනාතාන්ද: නුඹට එසේ නොවේවා. නුඹ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක නුඹට දන්වන්නේ නැද්දැයි කීවේය. 10 එවිට දාවිත්: නුඹේ පියාණන් නුඹට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය. 11 යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය. 12 යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් නුඹට දන්වන පිණිස මා නුඹට පණිවිඩ එවන්නේ නැද්ද? 13 මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා. 14 ඇරත් මා නොනස්නා ලෙස නුඹ ස්වාමීන්වහන්සේගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව, 15 මාගේ වංශයෙන් ද නුඹේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය. 16 මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය. 17 යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්‍රාණයටමෙන් ඔහුට ආදරේවුණේය. 18 එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, නුඹේ ආසනය සිස්වන බැවින් නුඹ එහි නැති බව පෙනෙන්නේය. 19 නුඹ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී නුඹ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න. 20 එවිට මම ඉලක්කයකට විදින්නාක්මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විද, 21 ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් නුඹට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් නුඹ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය. 22 නුමුත් මම ළමයාට: ඊගස් නුඹට එහායින්ය කියම් නම්, නුඹ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ යන්ට අරිනසේක. 23 තවද නුඹත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම නුඹත් මාත් අතරේ වනසේකැයි කීවේය. 24 ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ. 25 වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. 26 එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය. 27 අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය. 28 යොනාතාන් සාවුල්ට උත්තරදෙමින්: දාවිත් බෙත්-ලෙහෙමට යන පිණිස ඕනෑකමින් මාගෙන් ඉල්ලා– 29 මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් නුඹේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය. 30 එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද? 31 මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය. 32 යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය. 33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය. 34 යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය. 35 පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය. 36 ඔහු ළමයාට කථාකොට: නුඹ දුවගොස්, මා විසින් විදින ඊගස් සොයාගන එන්නැයි කියා, ළමයා දුවද්දී ඔහුට එහායින් යන්ට ඊගහක් විද්දේය. 37 යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස නුඹට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය. 38 යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය. 39 නුමුත් ළමයා කිසිවක් දැනනොගත්තේය. යොනාතාන් සහ දාවිත් පමණක් ඒ කාරණය දැනගන සිටියෝය. 40 යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය. 41 ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය. 42 යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය. |
Ceylon Bible Society
Ceylon Bible Society