Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 සාමුවෙ 11 - Sinhala Revised Old Version


සාවුල් රජ අම්මොනිවරුන් පරාජය කිරීම

1 එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.

2 අම්මොනිය නාහාෂ්ද: නුඹලා සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, නුඹලා සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය.

3 යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය.

4 එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.

5 ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.

6 සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.

7 ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.

8 ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.

9 එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට නුඹලාට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,

10 එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි නුඹලා ළඟට එන්නෙමුව, එවිට නුඹලාට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට නුඹලාට පුළුවනැයි කීවෝය.

11 පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.

12 සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.

13 සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය.

14 එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය.

15 මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්