Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 කොරින්ති 3 - Sinhala Revised Old Version


පක්ෂභජනය මාංසික බව

1 සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථාකරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිලිඳුන්ටත් මෙන් කථාකෙළෙමි.

2 මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය, දැනුත් බැරිය;

3 මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?

4 මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, නුඹලා මාංසිකයෝ නොවෙත්ද?

5 ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.

6 මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

7 එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.

8 හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.

9 මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.


ගුරුවරුන් පිට පැවරී තිබෙන වගකීම

10 මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.

11 මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

12 නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්,

13 එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.

14 ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.

15 යම් කෙනෙකුගේ කර්මාන්තය දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.

16 නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

17 යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.

18 කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

19 මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.

20 නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ.

21 එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල නුඹලාගේය;

22 පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය;

23 නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්