Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හොෂෙයා 6 - Sinhala New Revised Version


පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම

1 “එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.

2 දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.

3 අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.


පූජාව නොව ස්ථිරසාර ප්‍රේමය

4 “අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය.

5 එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය.

6 මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.”


ඉශ්රායෙල්වරුන්ගේ දූෂණ

7 “ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.

8 ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි.

9 පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය.

10 භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.

11 “එම්බා ජුදා වැසියෙනි! නුඹලාට දඬුවම් දීමේ කාලයත් මා නියම කර ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්