Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හෙබ්‍රෙව් 8 - Sinhala New Revised Version


අලුත් ගිවිසුමේ උත්තම පූජකයාණෝ

1 අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන,

2 මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.

3 සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය.

4 උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.

5 මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.

6 එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:

7 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ.

8 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය.

9 එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.

10 ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.

11 සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය.

12 මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.”

13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්