හිතෝපදේශ 31 - Sinhala New Revised Versionමවගෙන් රජුට ඔවාබස් 1 මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය: 2 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න. 3 ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න. 4 ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි. 5 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති. 6 මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය. 7 එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා. 8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න. 9 ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න. සත්ගුණවත් බිරිඳ 10 කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය. 11 සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත. 12 දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය. 13 ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි. 14 ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි. 15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි. 16 ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. 17 ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි. 18 සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි; රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි. 19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි. 20 ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත. 21 හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත. 22 ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත. 23 ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි. 24 ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. 25 ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. 26 ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. 27 ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. 28 ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. 29 “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. 30 රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. 31 ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න. |
Ceylon Bible Society
Ceylon Bible Society