හිතෝපදේශ 2 - Sinhala New Revised Versionප්‍රඥාව ගැන ප්‍රශංසා 1 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න; මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න. 2 ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න. 3 නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න. 4 රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. 5 එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි. 6 මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි. 7 සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. 8 සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක. 9 මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය. 10 ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි. 11 සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි. 12 එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි; 13 අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි. 14 ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය; 15 ඔවුන්ගේ ක්‍රියා වංක ය; ඔවුන්ගේ මාවත් ඇද ය. 16 ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්, 17 පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය. 18 ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි; ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි. 19 ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත; ජීවන මාවත්වලට යළි පැමිණෙන්නේ නැත. 20 මෙය මා කියන්නේ, නුඹ යහ මඟ හැසිර, දැහැමි මඟ ඇවිදින පිණිස ය. 21 අවංක අය මිහි පිට දිගු කල් වසති; නිදොස් අය එහි යෙහෙන් කල් යවනු ඇත. 22 එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති; ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති. |
Ceylon Bible Society
Ceylon Bible Society