Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 15 - Sinhala New Revised Version

1 මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.

2 පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.

3 සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.

4 මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.

5 මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි. ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.

6 සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය; දුදනන්ගේ වස්තුව කරදර උපදවයි.

7 පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.

8 දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.

9 දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි; යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක.

10 යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත; අවවාදය නුරුස්සන අය නසිනු ඇත.

11 පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත; එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?

12 උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි; ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි.

13 සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි.

14 නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති.

15 පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි.

16 කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.

17 වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.

18 වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.

19 අලසයාට පාර කටු මාවතකි; අවංක අයට එය රජ මාවතකි.

20 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි;

21 අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.

22 උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.

23 සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.

24 නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.

25 සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.

26 දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි; පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.

27 ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.

28 දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.

29 සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.

30 සිනහා මුහුණ මන පිනවයි; සුබ පුවත් ඇඟපතට සුව සැප දෙයි.

31 යහපත් අවවාදයට කන් දෙන තැනැත්තේ, නැණවතුන් අතර නැණවතෙකි.

32 අවවාද එපා කරන මිනිසා තමාට ම සතුරෙක් වෙයි. උවදෙස් අසන්නා වැඩි වැඩියෙන් නැණනුවණ ලබයි.

33 දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්