Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 12 - Sinhala New Revised Version

1 අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.

2 සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.

3 දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත; එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය.

4 ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.

5 දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.

6 දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.

7 දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.

8 මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.

9 පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.

10 දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.

11 වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.

12 දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.

13 දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.

14 එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.

15 අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.

16 මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි.

17 ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.

18 කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.

19 ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.

20 නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත; සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.

21 දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.

22 බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.

23 බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි; අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.

24 කාර්යක්ෂම අත රට පාලනය කරයි; අලසයෝ වහල් සේවයට යට වෙති.

25 සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.

26 ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.

27 අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි; එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.

28 දැහැමි මාවතෙහි ජීවනය ඇත; අදමිටු මඟෙහි මරණය ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්