Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 1 - Sinhala New Revised Version


හිතෝපදේශවල අගය

1 ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:

2 ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.

3 ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.

4 ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.

5 හිතෝපදේශ හා උපහැරණ ද

6 බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.

7 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.


තරුණයන්ට අවවාද

8 මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.

9 ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.

10 මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:

11 “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.

12 පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.

13 නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.

14 එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”

15 මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.

16 ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.

17 කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.

18 මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.

19 අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.


ප්‍රඥාවගේ ආයාචනය

20 ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි; ප්‍රසිද්ධ තැන්වල මොරගසයි.

21 දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි; නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:

22 “අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?

23 මාගේ තරවටුව හිතට ගන්න; එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.

24 මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත.

25 ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය; මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.

26 ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.

27 භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.

28 එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.

29 ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය.

30 ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත; මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.

31 කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.

32 අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.

33 එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්