Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව 3 - Sinhala New Revised Version


සහභාගිකමේ පූජාව

1 “සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය.

2 ඔහු පූජාව පිණිස ගත් සතාගේ හිස පිට තම අත තබා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ දී ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.

3 තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,

4 වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.

5 ආරොන්ගේ පුත්‍රයන් ඒවා පූජාසනයේ ගින්න පිට ඇති දර උඩ තබා, දවන යාගය සමඟ දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.

6 “සමිඳාණන් වහන්සේට පුදන සහභාගිකමේ පූජාව පිණිස යමෙක් තම පූජාව එළු බැටළු රැළෙන් ගන්නේ නම්, ඔහු එය සඳහා නොකැළැල් පිරිමි සතෙකු හෝ ගැහැණු සතෙකු හෝ ඔප්පු කළ යුතු ය.

7 ඔහු පුදන පූජාව බැටළුවෙක් නම්, ඔහු ඒ සතා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදිය යුතු ය.

8 ඔහු තම පූජාව පිණිස ගත් සතාගේ හිස පිට අත තබා, සම්මුඛ මණ්ඩපය ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. පසුව ආරොන්ගේ පුත්‍රයන් උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.

9 තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල,

10 වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.

11 පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මෙය ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ආහාර පූජාවකි.

12 “යමෙකුගේ පූජාව එළුවෙක් නම්, ඔහු එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පුද කළ යුතු ය.

13 ඔහු උගේ හිස මත අත තබා සම්මුඛ මණ්ඩපය ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. පසුව ආරොන්ගේ පුත්‍රයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.

14 තවද, ඔහු එම පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,

15 වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.

16 පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ වෙත සුමිහිරි සුවඳක් නැඟෙන පිණිස ගින්නෙන් දවා පිදූ පූජාවකි. තෙල් සියල්ල සමිඳාණන් වහන්සේට අයිති වේ.

17 නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්