යෙසායා 61 - Sinhala New Revised Versionගැළවීමේ ශුභ ආරංචිය 1 මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක. 2 සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක. 3 සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය. 4 ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති. 5 විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය. 6 එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත. 7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය. 8 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි. 9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.” 10 මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක. 11 පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක. |
Ceylon Bible Society
Ceylon Bible Society