Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 32 - Sinhala New Revised Version


අවංක රජ කෙනෙක්

1 අවංක රජ කෙනෙකු ද යුක්තියෙන් පාලනය කරන අධිපතීන් ද ඇති වන කාලයක් පැමිණෙන්නේ ය.

2 ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.

3 පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි; කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.

4 ඔව්හු ඉක්මන්කාර ගතියෙන් තොර ව, ඥානවන්ත ලෙස ක්‍රියා කරමින්, තේරුම්පැහැදුම් ඇති ව කතා කරන්නෝ ය.

5 ‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය.

6 අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.

7 ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.

8 එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය. විනිශ්චයය හා පුනරුත්ථාපනය

9 සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.

10 ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.

11 කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, දැන් භීතියෙන් වෙවුළන්න; ඔබේ වස්ත්‍ර ගලවාදමන්න; ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.

12 සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.

13 මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය. සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.

14 රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.

15 එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක; එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය. සාරවත් ඉඩම් පාළු වන්නේ ය.

16 දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.

17 සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්, සදහට ම පවතින්නේ ය.

18 දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.

19 ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;

20 වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්