Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 23 - Sinhala New Revised Version


පිනීසියට දඬුවම් දීම

1 තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.

2 සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.

3 මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.

4 එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.

5 තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය.

6 පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න. නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද?

7 මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?

8 ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?

9 ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.

10 තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.

11 සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.

12 “සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.

13 තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.

14 තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.

15 රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:

16 “අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.”

17 අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත.

18 ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්