Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

දේශනාකාරයා 1 - Sinhala New Revised Version


ජීවිතයේ නිස්සාරකම

1 ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය:

2 “සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි.

3 මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද?

4 එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි.

5 හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි.

6 සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි.

7 සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි.

8 හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි.

9 මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත.

10 “මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි.

11 යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.


ධර්මදේශකයාගේ අත්දැකීම

12 ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි.

13 මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද?

14 මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.

15 ඇද දේවල ඇද අරින්නට නොහැකි ය; නැති දේ ගණින්නට නොහැකි ය.

16 “මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි.

17 මෙසේ එක අතකින් ප්‍රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය.

18 මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්