Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 23 - Sinhala New Revised Version


සමිඳුන්ගේ සභාවට නොයා යුතු අය

1 “අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.

2 අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.

3 “අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.

4 ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය.

5 එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ බාලාම්ට ඇහුම්කන් නුදුන් සේක. උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක.

6 ඔබ දිවි ඇති තාක් ඔවුන්ගේ සෞභාග්‍යය සහ ශුභසිද්ධිය සඳහා කිසිවක් නොකළ යුතු ය.

7 “ඒදොම් ජාතිකයෙකු, ඔබේ සහෝදරයෙකු බැවින්, ඒදොම් ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. මිසර දේශයේ විදේශිකයෙකු මෙන් ඔබ විසූ බැවින් මිසර ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය.

8 තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”


කඳවුරු පවිත්‍ර ව තබාගැනීම

9 “ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය.

10 රාත්‍රියේ ධාතු මෝචනයෙන් අපවිත්‍ර වුණ යමෙකු කඳවුරෙන් පිටතට ගොස් ඊට නොපැමිණිය යුතු ය.

11 සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.

12 “මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය.

13 ඔබේ බඩු භාණ්ඩ අතරේ හාරන හැන්දක් විය යුතු ය. මලපහ කිරීමට උවමනා වූ විට හාරන හැන්දෙන් වළක් හාරා, ඊට මලපහ කර, ආපසු හැරී, එය වසාදැමිය යුතු ය.

14 ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”


වෙනත් විවිධ නීති හා නියෝග

15 “තම ස්වාමියාගෙන් ගැළවී ඔබ වෙත පැමිණි වහලෙකු ඔබ යළි ස්වාමියා හට පාවා නොදිය යුතු ය.

16 නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය.

17 “ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.

18 එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.

19 “ඔබේ සහෝදරයාට පොළියට කිසිවක් ණයට දිය යුතු නොවේ. පොළී ගැනීම සඳහා මුදල් හෝ කෑම බීම හෝ අන් කිසිවක් හෝ දීම නොකළ යුතු ය.

20 විදේශිකයෙකුට පොළියට යමක් ණයට දිය හැක. එහෙත්, ඔබේ සහෝදර ජනතාවට එලෙස දිය යුතු නොවේ. මේවා ඔබ පිළිපැද්දොත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබේ සියලු වැඩ කටයුතුවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආසිරි දෙන සේක.

21 “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.

22 බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.

23 ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.

24 “ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.

25 ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඇතුළු වූ කල්හි ද එහි කරල් ඔබට අතින් කඩාගත හැකි ය. එහෙත්, ඒ ගොයමට දෑකැත්තක් නොපෙවිය යුතු ය.”

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්