Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 26 - Sinhala New Revised Version


ජෝබ්ගේ පිළිතුර

1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:

2 “අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!

3 අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!

4 ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?”


බිල්දද්ගේ කතාව

5 බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති.

6 පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.

7 දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.

8 එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.

9 එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක.

10 එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.

11 එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි.

12 එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක.

13 එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි.

14 මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්