යෝබ් 23 - Sinhala New Revised Versionජෝබ්ගේ පිළිතුර 1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: 2 “අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි. 3 අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්. 4 එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි. 5 එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි. 6 එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද? නැත. එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක. 7 එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත. විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි. 8 මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. 9 මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත. 10 එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත. 11 මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි. 12 එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි. 13 එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක. 14 මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත; එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත. 15 ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි. 16 සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක. 17 අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ. |
Ceylon Bible Society
Ceylon Bible Society