Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝනා 2 - Sinhala New Revised Version


ජෝනාගේ ස්තූති ප්‍රශංසා යාච්ඤාව

1 ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.

2 “මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.

3 ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.

4 එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’

5 ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.

6 මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.

7 මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.

8 බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.

9 එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.”

10 සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්