යෙරෙමියා 45 - Sinhala New Revised Versionබාරුක්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව 1 ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී නේරියාගේ පුත් බාරුක් දිවැසිවර ජෙරමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියුවේ ය. 2 ජෙරමියා බාරුක් අමතා, “ඉශ්රායෙල්වරුන්ගේ, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය. 3 “ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.” 4 සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය. 5 නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” |
Ceylon Bible Society
Ceylon Bible Society