ගීතාවලිය 99 - Sinhala New Revised Versionශ්‍රේෂ්ඨ දෙවි රජාණෝ 1 සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. 2 සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. 3 අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක. 4 අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක. 5 අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක. 6 එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක. 7 වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය. 8 අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක. 9 අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය. |
Ceylon Bible Society
Ceylon Bible Society