ගීතාවලිය 97 - Sinhala New Revised Versionසමිඳුන්ගේ රාජ බලය 1 සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා! 2 වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය. 3 එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය. 4 එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි. 5 කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය; මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය. 6 දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය. 7 රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා! 8 සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා! 9 සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක. 10 සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක. 11 දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි. 12 සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා! එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා! |
Ceylon Bible Society
Ceylon Bible Society