Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 96 - Sinhala New Revised Version


සව් බලැති දෙවිඳුන් නැමදීමේ ගීයක්
( 1 වංශා 16:23-33 )

1 සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.

2 සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.

3 විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.

4 සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.

5 ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.

6 ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.

7 සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.

8 සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.

9 සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.

10 විජාතීන් අතර මෙසේ පවසන්න: “සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.

11 සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!

12 කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.

13 සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්