ගීතාවලිය 95 - Sinhala New Revised Versionදෙවිඳුන් නැමදීමේ ගීයක් 1 එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු. 2 තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු. 3 මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක. 4 මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය; කඳු ශිඛර එතුමන්ගේ ය. 5 එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය. 6 එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. 7 එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත! 8 “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න. 9 එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය. 10 සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි. 11 කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.” |
Ceylon Bible Society
Ceylon Bible Society