Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 92 - Sinhala New Revised Version


සබත් දින ගායනය සඳහා ය.


ප්‍රශස්ති ගීතයක්

1 සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.

2 උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය. රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.

3 තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.

4 සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.

5 ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?

6 මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය; අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.

7 දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.

8 එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.

9 අහෝ සමිඳුනි! ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය. සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.

10 ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක; ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.

11 මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.

12 දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.

13 සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.

14 වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය; සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.

15 එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්