Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 85 - Sinhala New Revised Version


කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.


ජාතික අභිවෘද්ධිය සඳහා යාච්ඤාවක්

1 සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.

2 ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.

3 ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.

4 අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.

5 සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?

6 ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.

7 සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව.

8 දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.

9 එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.

10 තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.

11 විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.

12 සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.

13 දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්