Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 83 - Sinhala New Revised Version


ආසාප්ගේ ගීතයකි.


සතුරන්ගේ පරාජය සඳහා යැදුම

1 මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.

2 බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.

3 ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය. ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.

4 ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.

5 සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.

6 ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය. මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.

7 මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.

8 අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.

9 මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.

10 ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක. ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.

11 ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව. ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.

12 ඔව්හු කතා කොට, “දෙවිඳුන්ට අයිති සාර භූමිය අපේ අයිතිය පිණිස පැහැර ගනිමු”යි කීවෝ ය.

13 මාගේ දෙවිඳුනි, ඔවුන් සුළඟට ගසාගෙන යන ධූලි මෙන් ද බොල් වී මෙන් ද කළ මැනව.

14 ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද

15 ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් ලුහුබැඳ යනු මැනව. ඔබේ සැඬ සුළඟින් ඔවුන් බිය ගැන්වුව මැනව.

16 සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.

17 ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා! අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!

18 ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්