Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 8 - Sinhala New Revised Version


දේව මහිමය හා මිනිසාගේ උදාරත්වය

1 සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.

2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.

3 සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,

4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.

5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.

6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.

7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.

8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.

9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්