Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 74 - Sinhala New Revised Version


ආසාප්ගේ ගීතයකි.


ජාතියේ විලාපයක්

1 අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?

2 පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.

3 නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව. අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.

4 ඔබේ සෙනඟ මැද එදිරිකාරයෝ බෙරිහන් දුන්නෝ ය. ඔව්හු තම ජය කෙහෙලි එහි නැංවූ හ.

5 ඔව්හු ඉහළ දොරටුවේ කැටයම් වැඩ පොරෝවලින් කපා සුණු විසුණු කළහ.

6 එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.

7 ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය. ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.

8 “අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.

9 අපට අනාගතයක් නැත; දිවැසිවරයෙක් ද අපට නැත; මේ තත්ත්වය කොපමණ කල් පවතී දැ යි දන්න කෙනෙක් ද නැත.

10 දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද? ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?

11 ඔබ අපට අත නො දී ඉන්නේ මන් ද? ඔබ දෑත අකුළාගෙන ඉන්නේ මන් ද?

12 දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය; ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.

13 ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක; මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක.

14 ඔබ ලෙවියාතන් නම් සර්පයාගේ හිස පොඩිකර දැමූ සේක; උගේ මස් කාන්තාර සතුන්ට ආහාරයක් කොට දුන් සේක.

15 උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය; ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.

16 දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.

17 පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය; ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය.

18 සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.

19 ඔබේ නිදොස් සෙනඟ කුරිරු සතුන්ට බිලිකර නුදුන මැනව; ඔබේ අසරණයන් සදහට ම අමතක නොකළ මැනව.

20 ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.

21 පීඩිත වූවන්ට ලජ්ජාවෙන් පසු බැසීමට ඉඩ නුදුන මැනව. දුගීන් හට සහ දිළිඳුන් හට ඔබේ නාමය පැසසීමට ඉඩ සැලසුව මැනව.

22 දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව. යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව. නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.

23 ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්