Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 65 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි.


විමුක්ති යැදීම හා වැණීම

1 සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු.

2 මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය.

3 අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.

4 ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.

5 ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.

6 ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක.

7 සමුදුරු ගිගුරුම් ද රළ ගොස ද ඔබ නිසල කළ සේක; සෙනඟගේ ආරාවුල් සමථයට පත් කළ සේක.

8 මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය; නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්‍රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.

9 ඔබ පොළොව දෙස බලා, එයට වැහි වස්වා, එය සරුසාර කරන සේක. අහස් ගඟ දිය දහරින් පිරී ඇත. ඔබ පොළොව මෙසේ පිළියෙළ කොට ධාන්‍ය සපයා දෙන සේක.

10 එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.

11 ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක; ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය.

12 පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත; කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත.

13 තණ බිම එළු බැටළු පට්ටිවලින් පිරී ඇත. මිටියාවත් ධන ධාන්‍යයෙන් සපුරාලන සේක. ඒවා ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයයි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්