Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 63 - Sinhala New Revised Version


ජුදා දේශයේ පාළුකරයේ දී දාවිත් ලියූ ගීතයකි.


දෙවියන් වහන්සේට ආශා වීම

1 දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.

2 ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.

3 ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.

4 මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.

5 රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.

6 යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.

7 මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීති වන්නෙමි.

8 ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.

9 මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!

10 ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා!

11 එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්