Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 60 - Sinhala New Revised Version


මෙය ප්‍රසිද්ධ ආඥාවක් වශයෙන් ඉගැන්වීමට ය. මෙය ඉගැන්විය යුතු දාවිත්ගේ සංගීතයකි. දාවිත් ආරම්-නහරයිම් සහ ආරම්-ශෝබා නමැති අය සමඟ සටන් කරන විට, ජෝවාබ් හැරී අවුත් ලවණ නම් මිටියාවතේ දී ඒදොමිය ජාතිකයන්ගෙන් දොළොස් දහසකට පහර දුන් පසු මෙය ලියන ලදී.


පරාජයේ දී ජාතික යැදුමක්

1 අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.

2 ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.

3 ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක; වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.

4 ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.

5 ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.

6 දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.

7 ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;

8 මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය; මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි; පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”

9 කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?

10 අහෝ දෙවිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?

11 එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.

12 දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්