Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 59 - Sinhala New Revised Version


දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි.


පිහිට පතා යැදුම

1 අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.

2 නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.

3 මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්,

4 මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය. සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව!

5 සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා! දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා!

6 ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.

7 ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති; “ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.

8 එහෙත් සමිඳුනි, ඔබ ඔවුන් ගැන සිනාසෙන සේක; ඔබ සියලු විජාතීන් සමච්චලයට පාත්‍ර කරන සේක.

9 මාගේ සවිය වන ඔබ මම පසසමි. මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.

10 මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.

11 අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක.

12 ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා! උඩඟුවෙන් වැනසෙත් වා!

13 ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.

14 ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය;

15 ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය; ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.

16 ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.

17 මාගේ සවිය වන ඔබ මම පසසමි; මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. ඔබ මට ප්‍රේම කරන සේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්