Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 56 - Sinhala New Revised Version


පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි.


අනතුරේ දී දෙවිඳුන් කෙරෙහි විශ්වාසය

1 දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.

2 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?

3 අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.

4 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?

5 ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.

6 ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.

7 ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.

8 මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?

9 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.

10 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.

11 දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?

12 දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.

13 මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්