Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 38 - Sinhala New Revised Version


දාවිත්ගේ ගීතයකි. සිහි කරවීමටයි.


දහ දුක් විඳින්නෙකුගේ යාදින්න

1 සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.

2 ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත.

3 ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.

4 මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.

5 මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත.

6 වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි.

7 උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.

8 මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.

9 සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක; මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ.

10 මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි.

11 අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.

12 මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත; මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.

13 බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.

14 මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය.

15 සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.

16 මාගේ දුක ගැන ප්‍රීති වන්නට සතුරන්ට ඉඩ නුදුන මැනව; මාගේ වැටීම ගැන උදන් ඇනීමට ද ඉඩ නුදුන මැනව.

17 මාගේ වැටීම ඉතා ළඟ ය; මාගේ වේදනාවට කෙළවරක් නැත.

18 මම පාපය ගැන උච්චාරණය කරමි; ඒ ගැන ළතැවෙමි.

19 මාගේ සතුරෝ සනීප ශක්තියෙන් සිටිති; නිකරුණේ මට වෙර බඳින අය වැඩි වේගන එති.

20 යහපතට නපුර කරන අය, මා හරි දේ කරන බැවින් මට සතුරු වී සිටිති.

21 සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව.

22 මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්